Home     | සිං | தமி | En
Share

ඔබ සැමවිටම ශ්‍රී ලංකාවේ COVID-19 රෝගය සඳහා සහ රෝගීන් සඳහා රජය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතුය.

COVID-19 ආසාදිතයෙකු හට නිරාවරණය වීමෙන් පසු...

COVID-19 ආසාදිතයෙකුට නිරාවරණය වීම පහත දැකවෙන පරිදි සිදුවිය හැක [1].

මෙසේ නිරාවරණය වීමෙන් පසු පළමුව කළ යුත්තේ තම නිවැසියන්ගෙන් හා අන්‍යන්ගෙන් වෙන්ව වෙනත් කාමරයක් සහ වැසිකිළියක් භාවිතා කිරීමට කටයුතු කිරීමයි [2]. එසේම, මුඛ ආවරණයක් පැළැඳීම අත්‍යාවශ්‍ය වන අතර එමඟින් SARS CoV-2 වෛරසය තවත් අයෙකුට ව්‍යාප්තවීම බොහෝදුරට වළකාගත හැක [3]

මෙලෙස වෙන්ව සිටීම පහත කරුණු නිසා ද සිදු කළ යුතුය.

රෝග ලක්‍ෂණ මතුවීමත් සමඟ නාසය සහ උගුර ආශ්‍රිත SARS-CoV-2 වෛරස් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වී සති දෙකක කාලයක් තුළ රෝග ලක්‍ෂණ පහව යාමත් සමඟ අඩු වී යන බව පර්යේෂණ මඟින් සොයාගෙන ඇත [4, 5]. නිරෝධායනය ආරම්භ කර දින 10ක‍් ගත වූ පසු රෝග ලක්‍ෂණ (විශේෂයෙන්ම උණ) පහව යාමත් සමඟ SARS-CoV-2 වෛරස් අංශු මඟින් තවත් පුද්ගලයෙකු ආසාදනය කිරීමේ හැකියාව ඉතාමත් පහළ මට්ටමකට පත්වෙයි [6]. එම නිසා, COVID-19 ආසාදිතයෙකුට නිරාවරණය වීමෙන් පසු දින 14 යන තුරු මෙසේ නිරෝධායනය වීම සිදුකළ යුතුය. එසේම, ආසාදිත පුද්ගලයෙකු හට COVID-19 අන් අයට පැතිරවීම රෝග ලක්‍ෂණ ඇතිවීමට දින 1-3 සිට හැකියාවක් ඇත [7]. එම නිසා, තමා හා ළඟින්ම ඇසුරු කරන්නන්ට රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඔවුන්ව හැකි ඉක්මනින් දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය වේ. 

ඔබගේ දෛනික COVID-19 රෝග ලක්‍ෂණ පිළිවෙලකට සටහන් තබා ගැනීම ඔබට සහ ඔබේ වෛද්‍යවරුන්ට ඔබ රෝහල් ගතවීමට අවශ්‍යද යන්න පිළිබඳව සහ ඔබ පිළිබඳව වඩා හොඳ තීරණ ගැනීමට උපකාරී වේ.

SARS-CoV-2 වෛරස් ආසාදනයෙන් රෝගී වූ විට, පොදුවේ අප සැමට නැගෙන පළමු ප්‍රශ්නය වන්නේ කොපමණ දිනකට පෙර අදාල රෝගියාගේ රෝග ලක්‍ෂණ ආරම්භ වූයේ කෙසේද යන්නයි. ඔබ අසනීපවී ඔබට ඇතිවන පළමු රො‍්ග ලක්‍ෂණ මෙන්ම ඔබේ උණ (උෂ්ණත්වය) සහ ඔබගේ ඔක්සිජන් මට්ටම නිරීක්ෂණය කිරීම (හැකිනම් සහ එම පහසුකම ඇතිනම්) සහ එවා දින දර්ශනයක (Calender) සලකුණු කිරීම SARS-CoV-2 වෛරස් ආසාදනය නිරීක්ෂණය කිරීමේ ඉතා වැදගත් පියවරයන් වේ.

SARS CoV-2 වෛරසය නිසා ඇති වන රෝග ලක්‍ෂණ විශාල පරාසයක් තුළ ඇති අතර ඒ පිළිබඳව නිශ්චිතවම අනාවැකි පැවසීම අපහසුය. නමුත් රො‍්ගය බරපතල වූ විට, රො‍්ග ලක්‍ෂණ බොහෝ විට ස්ථාවර රටාවක් අනුගමනය කරනු දක්නට ලැබේ.

බහුතරයක් වූ රෝගීන් සතියකින් පමණ සුවය ලබන අතර, සැලකිය යුතු සුළුතරයක් වු රෝගීන් හට ඉතා දරුණු දෙවන රැල්ලකට (“a very nasty second wave”) මුහුණ දීමට සිදුවේ. මෙම රො‍්ගයේ මූලික රෝග ලක්‍ෂණ වලින් පසුව, රෝග ලක්‍ෂණ ස්ථාවර වීමක් හො‍් පහළ යාම සිදුවිය හැකි නමුත් පසුව රො‍්ගය ඉතා ඉක්මනින් ප්‍රබල අතට හැරීමට ඉඩ ඇත. මෙය ද්විතීක සංකූලතාවය (“Secondary Worsening”) ලෙස හඳුන්වයි.

රෝග ලක්‍ෂණ විකසනය..

පහත දැක්වෙන්නේ ඉහත සඳහන් පරිදි COVID-19 ආසාදිතයෙකුට නිරාවරණය වීමෙන් හෝ PCR පරීකෂණයකින් තහවුරු කිරීමෙන් පසු දින අනුව COVID-19 රො‍්ග ලක්‍ෂණ මතුවිය හැකි ආකාරයයි. රො‍්ග ලක්‍ෂණ මතු වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවින් ඔබේ රො‍්ග ලක්‍ෂණ පිළිබඳව ඉතා අවධානයෙන් සිට අවශ්‍ය වූ විට ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය වේ.

දින 1 සිට 3 දක්වා

COVID-19 හි මුල් රෝග ලක්‍ෂණ විශාල ලෙස එකිනෙකාට වෙනස් වේ. එය උගුර කැසීම, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, උණ, හිසරදය, හුස්ම ගැනීමේ අපහසුව, හුස්ම හිරවීම, කැරකිල්ල සහ වමනය හෝ පපුවේ ඉතා කුඩා පීඩනයකින් ආරම්භ විය හැකිය. සමහර අවස්ථා වලදී එය පාචනය හා සබැඳි රෝග ලකෂණ සමඟ ආරම්භ වේ. සමහර අයට වෙහෙස දැනෙන අතර රසය හා සුවඳ පිළිබඳ දැනීම සහ හැඟීම නැති වී යයි. බොහෝ අයට රෝග ලක්‍ෂණ කිහිපයක් ඇති නමුත් උණ නැත. සමහරුන්ට ආමාශ ආශ්‍රිත රෝග ලක්‍ෂණ (ගැස්ට්‍රයිටීස් gastrointestinal symptoms) මතුවී ශ්වසන රෝග ලක්‍ෂණ දක්වා වර්ධනය වන අතර අනෙක් අයට එසේ නොවේ.

දින 4 සිට 6 දක්වා

සමහර රෝගීන් හට කිසිම විටක සුළු රෝග ලක්‍ෂණ වලට වඩා රො‍්ගය වර්ධනය නොවන අතර තවත් රෝගීන් හට රො‍්ග ලක්‍ෂණ හට ගන්නේම නැත. එහෙත් සමහරුන්ට දරුණු උණ, ශරීරයේ කැක්කුම, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ ශාරීරිකව අපහසුතාවයක් වර්ධනය වේ.

සමහර ළමයින්ට සහ සුළු රො‍්ග ලක්‍ෂණ වලින් පෙළෙන තරුණ රෝගීන් හට කුෂ්ඨ ඇති වීම, සමේ රතු පැල්ලම් ඇති වීම හා කැසීම ඇති විම, ඇඟිලි ඉදිමීම මෙන්ම ඇඟිලි මත අධික සීතල නිසා ඇතිවන තුවාල මෙන් තුවාල ඇතිවීම දැකිය හැකිය. මෙය ඇතිවීමේ නිශ්චිත කාල වේලාව පැහැදිලි නොවූවත්, රෝග ලක්‍ෂණය ආසාදනයේ මුල් අවධියේදී හෝ එය පසු වූ පසු ඇතිවීමට පුළුවන.

දින 7 සිට 8 දක්වා

සුළු රෝගී තත්වයන් පෙළෙන සමහර වාසනාවන්ත රෝගීන්ගේ නරකම කාලය සතියකට පසු අවසන් වේ.

නමුත් සමහර රෝගීන්ට මෙම කාලයේදී දරුණු ලෙස තම රෝගී තත්වය දැනෙන අතර රො‍්ගය නරක අතට හැරෙන්න පටන් ගන්නා අතර තවත් සමහර රෝගීන්ට කෙටි සුවයක් දැනෙන්නට පටන් ගෙන පසුව වඩාත් නරක අතට හැරෙනු ඇත.

ඔබ මේ දින ගත වනවිට බොහො‍් දුරට රෝහල් ගතවී වෛද්‍ය උපදෙස් යටතේ සිටිය යුතු අතර ඔක්සිජන් මට්ටම නිරීක්ෂණය කළ යුතුය.

දින 8 සිට 12 දක්වා

අසනීපයේ දෙවන සතිය සඳහා ද රො‍්ග අධීක්ෂණය දිගටම කරගෙන යා යුතුය. රෝගීන්ට මුනින් අතට නිදාගැනීමෙන් හෝ එක් ඇලයකට නිදා ගැනීමෙන් පහසු නින්දක් ලැබිය හැකිය.

දින 8 සිට 12 දක්වා කාලයේ දී යම් රො‍්ගියකු හොඳ අතට හැරේද නැතිනම් නරක අතට හැරෙනු ඇත්ද යන්න පිළිබඳව අදහසක් ගත හැකිය. මේ කාලයේ දී එනම් දින 8 සිට 12 දක්වා වූ කාලයෙ‍් දී රො‍්ගී තත්වය බරපතල වීම හුස්ම හිරවීම (shortness of breath), කැස්ස නරක අතට හැරීම යන රෝගී ලක්‍ෂණ දැකිය හැකි වේ.

මේ අවස්ථාවේ රො‍්ගී ඔබට නිවසේ සිටිම කිසිම විටක ආරක්ෂිත නොවන අතර ඔබගේ පවුලේ අයට රො‍්ගී ඔබව නිවසේ තබාගෙන කලමණාකාරණය කල නොහැකිය. එනිසා මෙම අචස්ථාව වන විටත් රො‍්ගී ඔබ රො‍්හල් ගතවී නොමැතිනම්, වහා රො‍්හල් ගත විය යුතුය. රුධිරයේ ඔක්සිජන් මට්ටම නරක අතට හැරෙන තෙක්ම වැඩි කාලයක් බලා සිටීමට අවශ්‍ය නැත. 

දින 13 සිට 14 දක්වා

මේ කාලය වන විට සුළු රෝගි ලක්‍ෂණ වලින් පෙළුන රෝගීන් හොඳින් සුවය ලබා සිටිය යුතුය. දරුණු රෝග ලක්‍ෂණ තිබු නමුත් සාමාන්‍ය ඔක්සිජන් මට්ටම පවත්වා ගෙන යන රෝගීන්ට සති දෙකකට පසු බොහො‍්දුරට සුවය ලැබිය යුතුය. කෙසේ වෙතත්, දරුණු රෝග ලක්‍ෂණ ඇති රෝගීන්ට සහ අඩු ඔක්සිජන් මට්ටම නිසා අමතර ප්‍රතිකාර අවශ්‍ය අයට තවමත් අසනීප ගතිය හා තෙහෙට්ටුව දැනෙන අතර සුවය ලැබීමට වැඩි කාලයක් ගත වේ.

ඔබට SARS-CoV-2 වෛරසය ආසාදානය වූ පසු දින 5 සිට 10 දක්වා වැදගත් වන්නේ ඇයි?[8]

COVID-19 රෝගීන් එකිනෙකාට වෙනස් වුවත්, රෝගයේ දින 5 සිට 10 දක්වා ඇතිවන සංකූලතා වලින්‍ බොහො‍් විට ප්‍රබල වන්නෙ‍් ශ්වසන සංකූලතාවන් (respiratory complications) වේ. මෙය විශේෂයෙන්ම වයසින් වැඩි හෝ දැනටමත් අධි රුධිර පීඩනය, හෘද රෝග, පෙනහළු රෝග, ස්ථුලතාවය, දියවැඩියාව සහ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සංකූලතා සහිත පිරිස හට දරුණු ලෙස බලපාන බව සොයාගෙන ඇත. එමෙන්ම තරුණ රෝගීන් හට සංකූලතා ඇති වීම දින 10 සිට 12 දක්වා ප්‍රමාද වී ආරම්‍භ වීම ද දැකිය හැකිය. කිසිදු අපහසු රෝග ලක්‍ෂණයක් නොමැතිව 14 වන දිනට ළඟා වන බොහෝ අය (අපහසුව හා තෙහෙට්ටුව හැරුණු විට) සුවය ලැබීමේ හැකියාව තිබේ.

වෙනත් බොහො‍් රො‍්ග සතියක් පමණ රො‍්ග ලක්‍ෂණ තිබි පහව යන බව ඔබ අත්දැකීමෙන් දැන සිටියත් කෝවිඩ්-19 සම්බන්දයෙන් ඔබ දැනගත යුතු වැදගත්ම කරුණ වන්නේ, COVID-19 වැළදි සතියකින් පමණ රො‍්ගය අවසන්‍ නොවන බවය. මෙය තරයේ සිහි තබාගත යුතු වේ.

ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ එවැනි රෝග ලක්‍ෂණයක් තිබේ නම් රො‍්ගය වැළදී (රො‍්ග ලක්‍ෂණ මතු වී) කුමන දිනය වුවද ඔබ වෛද්‍යවරයකු හමුවීම හො‍් රො‍්හල් ගත වීම ඉතාම වැදගත්ය. නමුත් රො‍්ගය වැළඳී සතියකින් පමණ පසුව ඔබට ශාරීරිකව අපහසුවක්‍ හො‍් අප්‍රාණික බවක්‍ දැනේ නම් කලබල නොවිය යුතුය. යම් කාලයක් COVID-19 රෝග ලක්‍ෂණ පැවතීම සාමාන්‍ය දෙයක් වන අතර ඔබ ශ්වසනය හා ඒ ආශ්‍රිත අපහසුතා පිළිබඳව විශේෂ අවධානයෙන් සිටීම වැදගත්ය.

රෝගයේ දෙවන සතිය ආසන්න වන විට රෝග ලක්‍ෂණ හදුනා ගැනීම සහ විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍ය වන අතර, ලොව බොහො‍් රට වල මෙන්ම ශ්‍රී ලංකාවේද නියුමෝනියාව (pneumonia) සහිතව රෝහල් කරා පැමිණෙන රෝගීන් වැඩිවීම සැළකිය යුතු කරුණකි.

ස්කෑන් පරීක්ෂණයේදී, COVID-19 නියුමෝනියාව ඇති රෝගීන්ගේ පෙනහළුවල පහළ කොටසෙහි සියුම් මිහිඳුමක් (ground-glass opacities) වැනි අපැහැදිලි බවක් දක්නට ලැබේ. මෙම කාලයේදී රෝගියාට නොදැනීම ඔහුගේ රුධිර ගත ඔක්සිජන් මට්ටම ඉතා සෙමින් පහත වැටෙනු ඇත. මෙම තත්වය “silent hypoxia” නමින් හදුන්වන අතර බොහෝ විට ඔක්සිජන් සන්තෘප්තිය අනතුරුදායක ලෙස පහත් මට්ටමකට ළඟා වන අතර එය හුස්ම හිරවීමක් දක්වා වර්ධනය විය හැකිය. එය හැකි විගස රෝහල් ගත විය යුතු ඉතා භයානකය තත්ත්වයකි.

මුල සිටම ඔබගේ සෞඛ්‍යය අධීක්ෂණය කිරීම සදහා වඩා සුදුසුම ක්‍රමය වන්නේ, ස්පන්දන ඔක්සිමීටරයක් (Pulse Oximeter) භාවිතා කිරීමයි [9]. එය ඔබේ ඇඟිල්ලෙන් ඔබේ රුධිරයේ ඔක්සිජන් මට්ටම මනින කුඩා උපකරණයකි. (මෙය කිරීමට හැකි ජංගම දුරකථන යෙදුම් (apps) තිබේ, නමුත් ඒවා සඳහා පිළිගත් තත්ව පරීක්ෂණ කර නොමැත). සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ ඔක්සිජන් සන්තෘප්ත පරාසය සියයට 96 සිට 99 දක්වා වේ. ඔබගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය සියයට 94 දක්වා පහත වැටී ඇති නම්, වහාම රෝහල් ගත විය යුතුය.

ඔබට නිවසේ දී වුවද ඔබේ පෙණහළුවලට ඔක්සිජන් ගලායාම වැඩි කළ හැකිය. ඔබ නිදාගැනීමේදී මුනින් අතට වැතිරීමෙන් හො‍් වම් ඇලයට හෝ දකුණු ඇලයට හැරී නිදාගැනීමෙන් හො‍්, එසේත් නොමැති නම් පුටුවක කෙළින් වාඩි වී සිටිමෙන් පෙණහලුවලට ඔක්සිජන් ගලායාම වැඩි කළ හැකිය.

COVID-19 වැළඳී පළමු අදියරේදී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉක්මන් ප්‍රතිචාර දක්වමින් වෛරස  ආසාදනයට එරෙහිව සටන් කරයි. එහෙත් වෛරසය ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉක්මවා යා හැකි අතර රො‍්ගය උග්‍ර වීමට හේතුව එයයි. මෙම තත්වය දින හතේ සිට 10 දක්වා බොහෝවිට දැකිය හැකිය.

ඔබේ ඔක්සිජන් මට්ටම නිරීක්ෂණය කිරීම සඳහා ඔබට ස්පන්දන ඔක්සිමීටරයක් (pulse oximeter) ​​නොමැති නම් කුමක් කළ යුතුද?

ශ්‍රී ලංකාවේ  ස්පන්දන ඔක්සිමීටර (pulse oximeter) සාමාන්‍ය භාවිතයේ දක්නට නොලැබෙන තරම්ය. ඔබගේ  හිතවතෙකුටවත් ස්පන්දන ඔක්සිමීටරයක් ​​තිබේදැයි දැන් විමසා බැලිය හැකිය. කෙසෙ‍් වෙතත් මෙම අවස්ථාවේ ඔබ වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

ස්පන්දන ඔක්සිමීටරයක් (pulse oximeter) ​​නොමැති විට, ශ්වසන ක්‍රියාකාරිත්වයේ දළ මිනුමක්  ගතහැකි ස්වයං පරීක්ෂාවක් තිබේ. එය “Roth Score” ලෙස හඳුන්වයි. ඔබ හොඳ හුස්මක් ගෙන 30 ක් දක්වා ගණනය කරන්න. නමුත් ඔබට  නැවත හුස්මක් නොගෙන අංක 10 තෙක් ගණන් කිරීමට (හො‍් තත්පර 7ක්) නොහැකි නම්, රෝගියාගේ රුධිර ගත ඔක්සිජන් මට්ටම සියයට 95 ට වඩා පහත වැටී ඇති බව නිගමනය කිරීමට හැකි වේ. තවද රෝගියාට අංක 7 දක්වා (හෝ තත්පර පහක්) ගණන් කිරීමට නොහැකි නම් ශරීරයේ ඔක්සිජන් අගය සියයට 90 ට වඩා අඩු විය හැකි බව නිගමනය කළ හැකිය [10]. නමුත් මෙම පරීක්ෂණය විධිමත් පරීක්ෂණයක් ලෙස නොගත යුතුය, තවද මෙම පරීක්ෂණය COVID-19 හා සබැඳිව අධ්‍යයනය කර නොමැත. එම නිසා මෙය වැරදි විශ්වාසයක් ඔබට දිය හැකිය.

ශරීරයේ ඔක්සිජන් පහත වැටීමේ තවත් සියුම් ලක්‍ෂණයක් වන්නේ රො‍්ගියා කෙටි හුස්ම වේගයෙන් ගැනීමයි. සමහර අවස්ථාවන් වලදී රෝගියා ද මේ පිළිබඳව නොදැනුවත්ව සිටී. තවද ඔක්සිජන් මට්ටම අඩු වූ විට දී රෝගියාගේ තොල් වල හෝ සමෙහි නිල් පැහැයක් ගත හැකිය.


Tara Parker-Pope විසින් New York Times පුවත්පතෙහි පල කරන ලද “Why Days 5 to 10 Are So Important When You Have Coronavirus” ලිපිය ඇසුරින් සකස් කෙරුනකි.

ආලො‍්කා විමලරත්න

අදහස් පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

aloka.wimalarathne[at]gmail.com

Share


Citations and Resources

Resources

Share